වර්තමාන තරුණ පරපුර විසින් සොයා යා යුතු විමලරත්න කුමාරගම

May 6, 2009
වර්තමාන තරුණ පරපුර විසින් සොයා යා යුතු විමලරත්න කුමාරගම

කොළඹ යුගයේ කවීන් ගැන කතා කරන විට, සුප‍්‍රකට කවීන් සතර දෙනෙකුගේ නම් මගේ සිතට පිවිසෙයි. එස්. මහින්ද හිමියෝ, සාගර පලන්සූරිය (කේයස්), පී.බී. අල්විස් පෙරේරා සහ විමලරත්න කුමාරගම ඔවුහු වෙති. ඔවුන් අතරින් විමලරත්න කුමාරගම කවියා ඉතා ඉදිරියෙන් සිටී යනු මගේ අදහස යි. ඔහු 1919 වසරේ ජනවාරි මස 18 දින නාරම්පනාව නම් ගමේ උපත ලද්දේය. ඔහුගේ පියා ගුරුවරයෙකි. 1923 වසරේ දී පාසල් යාම ඇරඹූ ඔහු පිළිවෙළින් මහනුවර වේරපිටිය විද්‍යාලයටත්, තෙල්දෙනිය ද්වි-භාෂා විද්‍යාලයටත්, කටුගස්තොට ශ‍්‍රී රාහුල විද්‍යාලයටත් ගොස් අවසානයේ දී මහනුවර ධර්මරාජ විද්‍යාලයටත් අධ්‍යාපනය සැඳහා ඇතුළත් විය. ඔහුගේ ජීවිතයේ අතිප‍්‍රබල සංවේගජනක සිදුවීම ලෙස 1935 වසරේ දී සිදුවු නංගීගේ මරණය දැක්විය හැකි ය. ඉන් ඔහු ඉමහත් කම්පනයකට පත්විය. එම වසරේ දී ම ලිපිකරු විභාගය සමත් වූ ඔහු, මහනුවර කච්චේරියේ සිය මුල් රැකියා පත්වීම භාරගත්තේ ය. එකල සාමාන්‍යයෙන් අද මෙන් නොව, ලිපිකරු විභාගය සමතා හොද උගතකු ලෙස සලකති. එතුමා 1940 වසරේ දී මහජනයා අතරට ගියේ, ඔහුගේ මුල් ම කවිපොත “සංවේග වේදනා” සමග ය. “සංවේග වේදනාවෙන්” ඔහු මිනිසුනගේ හදවත්වලට ආමන්ත‍්‍රණය කෙලේ ය. ඒ අතරින් "අතීතය ඔස්සේ" සහ"සුවිවේකිව යනවිට අරලිය වත්තේ" යන කාව්‍ය විශේෂිත ය. එයිනුදු විමලරත්න කුමාරගමගේ ළමා කාලය ගැන කියැවෙන පහත සදහන් කවියට මම ඉතා ඇළුම් කරමි.

හත් අට වතාවක් දැක්මෙන්                දවසකට
ඇඳුනුම්කමක් ඇති විය නො මැකෙන    ලෙසට
හිරු සැඬ වෙලාවට වැද තුරු           සෙවනකට
වැලිබත් පිසූයෙමු අපි දෙදෙනා               එකට

මෙසේ සිය ළමා කාලය ගැන හෘදයංගම චිත‍්‍රයක් මවන කවියා, සිය ප‍්‍රථම සෞන්දර්යාත්මක ආදරය ඉපදුණු ආකාරයද මනා සේ පවසයි. වර්තමානයේ පාසල් යන වයසේ දරු දැරියන්ගෙන් බොහෝ දෙනා ආදරය යයි හඳුනනුයේ රාගයෙන් මත්වුණු විකෘති ආශාවකි. එභෙත් ආදරය යනු ඊට වඩා බොහෝ සෙයින් වෙනස් වූ උත්තරීතර දෙයකි. වරෙක වර්තමානයේ ජීවත්වන තරුණ පරපුර එය විඳ තිබේද යන ගැටලුව පවා මා තුළ ඇති වෙයි. වර්තමානයේ බිහිවන, "අහංකාර නගරේ - පුරඟනක්ද නුඹ ළදුනේ, තරමට ඉඟත් බොහොම නැති - ළැමත් බොහොම ඇතිම", "ඇය එනවා මගේ ගෙපැළට- සිරියහනේ තනි රකින්න", … ආදී ගී නමින් හැඳින්විය නොභෙන ඒවා වර්තමාන පරපුර වැළදගනුයේ ඔවුන්ගේ සිතුම් පැතුම් එම ගී පදවැල් තුළ අන්තර්ගත නිසාද ?. එභෙත් කුමාරගම කවියා ආදරය දකින ආකාරය කෙතරම් සෞන්දර්යාත්මක ද කියා බලන්න.

සුදු සමනළකු දැක ඌ පසු පස                දිව්වා
ඒ පොඩි සතා ඇය හොඳට ම වෙභෙසෙ     ව්වා
මා'හිංසක නුවන ඇගෙ උවනත            සෙව්වා
ඌටත් වඩා ඇය පියකරු බව                 කිවුවා

මෙම කවිය අධ්‍යයනය කරන ඕනෑම අයෙකුට ඔහුගේ අහිංසක හැඟුම් අවබෝධ කර ගත හැකි ය. ඔහු ඇයගේ ලස්සන උපමා කරනුයේ සමනළයකුට ය. කුමාරගම ඇගේ ශරීරාංග පවා කවියට නඟා නැතුවා නොවේ, එභෙත් ඒ ලස්සන දැකීමක් වශයෙන් මිස, වර්තමානයේ බොහෝ විකෘති පදවැල් මෙන්, කාමුක බවින් නොවේ. එයට කදිම නිදසුනකි මේ;

ඇගෙ පාවලට යට වී වන මල්         නැළවේ
තුඟු ළැම පෙදෙස යන එන ගමනට සෙලවේ
දෙනුවන් කෙරෙන් අවිහිංසක බව     පළවේ
වදමල් දෙමට මල් ඇය දුටු විට        මැළවේ

මෙම ආදරණීය හැඟීම ඇතිකළ "ඇය" තමා ගෙන් වෙන් වූ ආකාරය, කවියා අනුවේදනීය ලෙස පවසයි. ඔහු සමහරවිට මුළු ජීවිත කාලය ම අවිවාහකව සිටීමට පවා, ඇතැම් විට ඔහු කවියකු හා සංවේදී පුද්ගලයකු කරවීමටද මෙම සිදුවීම ද හේතු වුවා විය හැකිය. පහත කවියෙන් සනාථ වන්නේ ද එය යි.

දික්කර කුමට කියමිද කුමටද          අටුවා
පානක එළිය ඇගෙ මළ ඇඳ මත   නැටුවා
මා හදවතේ ලෝහිත විදුලිය        කෙටුවා
පෙරටත් වැඩිය ඇය පියකරු බව    දුටුවා

කුමාරගම කවියා පරිසරය සහ සතා සීපාවා සමඟ කෙතරම් බැදීමක් ඇතුව ජීවත් වූවාදැයි යන්නට ඔහු විසින් රචිත "නොකී ආයාචනය" සාක්ෂි දරයි. ඉතා සුළු සිදුවීමක් පවා ඔහු ඉතා සංවේදී ලෙස විඳියි. එම විඳිම ඉතාමත් ම මනරම් ය. වර්තමාන කවීන් අතුරින් ආරියවංශ රණවීර කවියා ද මෙවැනිම සුළු සිදුවීම් ඉතා සංවේදී ලෙස කවියට නැගීමට සමතෙකි. කුමාරගම කවියා ලිඳ ළඟ සිටින විට, මිනිසුනට බයෙන් බයෙන් ආ ගවයෙකු ඔහු දෙස මහා අමුතු ආකාරයෙන් බලා යමක් ඔහුට පවසයි. ඒ සිදුවීම මෙසේ කවියට නැගෙයි.

ගුණවත් වීම මිනිසුන් සතු පල    නෙලුමයි
ලෝකය අනුව හිනැහීමයි හද      සැලුමයි
නුපුරුදු මිනිස්හුගෙ හද නිතරම    කලුමයි
මා දුටු මහ කවිය ඒ ගවයගෙ      බැලුමයි

කුමාරගම ගවයා පවසන පණිවිඩය අවබෝධ කොට ගනියි. ඉක්බිති ඌට වතුර පනිට්ටුවක් දී පිපාසය නිවයි. එම මොහොතේම එම සතාගේ බෙල්ල ද ආදරයෙන් පිරිමදියි. ගවයා තමාට පිහිට වූ මිනිසාට නො අනියි. ඔහු මෙම සතාගේ ඇති මෙම උත්තම ගුණය කවියට නගයි.

තොල කට ලෙව කකා සිට සිතැතිව    බැතිය
ඌ මට පිදු හැටි ගොළු වදනින්            තුතිය
තිරිසන් සතුන් පෙන්වන මේ ඉදු          ගතිය
මිනිසා දියුණු වූයෙන් ඔහු ළඟ           නැතිය

මිනිසුන් ළඟ නැති මිනිස්කම් ඔහු මෙසේ සතකු උපමාවට ගෙන කවියට නඟා ඇත. මෙවැනි සිදුවීම් ඔහුගේ කවිකම වඩ වඩාත් ඔපවත් කරයි. 1942 වසරේ අනුරාධපුර කච්චේරියේ වැඩ කරන වකවානුවේ දී විමලරත්න කුමාරගම කවියා මෙම අත්දැකීමට මුහුණ දී ඇත. මෙසේ ජීවිතය විඳිය හැක්කේ සැබෑ මිනිසුනට පමණි. ඔහු සැබෑ මිනිසෙකු ලෙස ජීවිතය විඳි බවට මෙය ද හොඳම සාක්ෂියකි. ඔහු සිය කවි පන්තිය මෙසේ අවසන් කරයි.

තිරිසනකුගේ ඇස පවසන බස                  දන්නා
බලයක් නිසා මා කවි ලෝකෙට              පැන්නා
සොම්නස් බරින් මුළු ලොවතුල ගුම්          ගන්නා
පපු ඇට පෙළට මගෙ හද පැන පැන        ඇන්නා

1947 වසරේ පළවූ ඔහුගේ "මතුපිට" නම් කවි පන්තියෙහි අවසන අපූරු කවියක් ඇත. එය අද සමාජයේ ජීවත්වන මිනිසුනට ද හොඳ පණිවිඩයකි. යාචකයකු ගෙදරට ආ විට ඔහුට බැණ එළවා ගන්නා මිනිසුනට කුමාරගම අපූරු කවක් ලියයි. ඔහු එවැනි යාචකයෙකුට මුදල් හෝ කෑමට කිසිවක් නොදුන්නත් අවම වශයෙන් කාරුණික වන්න යැයි මෙසේ කවියෙන් ආයාචනය කරයි.

අත පය දෙඇස දන්දී ඔබගේ       නාමෙට
අසරණයෙකුගෙ සරණින් දොරට    ආවිට
කිසිවක් එපා මිහිරිය කුසට           කෑමට
මඳහස පානු මැන දොරටුවට         ආවිට

විමලරත්න කුමාරගම වසර 1945 සිට 1949 දක්වා නුවරඑළියේ හේවාහැට ප‍්‍රදේශයේ වැඩ කෙලේ ය. එම වකවානුව තුළ මනරම් කවි පන්ති කිහිපයක් ඔහු අතින් රචනා විය. ඉහත කවි පන්තිය ඉන් එකකි. තවත් බොහෝ කවි පන්ති ඇත. ඉන් මා අමන්දානන්දයට පත් කළ කවි පන්ති කිහිපයක් පමණක් මම මෙසේ ලිවීමට තෝරා ගනිමි. ඉන් එකකි "නීරා මළා" නම් කවි පන්තිය. එය ඔහු ඉතා ආදරයෙන් ඇති දැඩි කළ බල්ලා වෙනුවෙන් රචනා කරන ලද්දකි. එහි එක් කවියක ඔහු බල්ලාගෙන් තමා ජීවිතය අවබෝධ කරගත් ආකාරය මෙසේ කවියකට නගා ඇත.

බල්ලෙක් බුරන විට බිරුමෙන්ම  පිළිතුරු
දීමට නොදත් එක අඩුවක්ය       බියකරු
උඹගෙන් ගත්තෙමි එහි අඩුව    වැඩකරූ
ලෝකය ඉඩක් නැත අදහසට     පිවිතුරු

තම බල්ලාගේ වියෝව සමගම ඔහුට ඌ හා ස්මරණය වන සිදුවීම් බොහෝ ය. ඔහු එම අසරණ අහිංසක සතා වටහාගත් ආකාරය අතිප‍්‍රබල ය. ඔහු ඇසෙන් කී දේවල් පවා නීරා අවබෝධ කරගත්තේ ය.  ඒ වගේ ම ඔහුට එම නීරාගේ වියෝව කෙතරම් දැනුණාද යන්න පහත කවිය අධ්‍යයනය කරන විට වටහාගත හැකි ය. ඔහු බල්ලා වළලන්නේ සිය හදවත නමැති සොහොනේ ය. සුප‍්‍රකට සාහිත්‍යධර ඇලෙක්සැන්ඩර් දියුමා ගේ “අපට නැති වන අපේ හිත මිතුරන් නිදන්නේ පොළොව පතුලේ නොව, අපගේ හද පතුළේ ය” යන කියමන ද මගේ මතකයට නැගේ.

කිඹුලන් ගිලින්නට යත්දිද           බේරුණා
බිය සැලකිල්ල හැම අයගෙම      මේරුණා
මගේ ඇස කී බසද නිසිසේම       තේරුණා
සොහොණක් මගේ හද පතුළේම  හෑරුණා

කුමාරගම කවියා දුස්සීල භික්ෂුවක් ගැන ඉතා අපූරු කවි පෙළක් රචනා කරයි. ඔහු එය නම් කරන්නේ "මෝල් පූජාව" නමිනි. එයින් සමාජයේ විවිධ පැතිකඩ ඔහු දුටු බව කියා පාන ප‍්‍රබල සාක්ෂියකි. ඔහු ස්පර්ශ කළ සෑම සංවේදී සිදුවීමක් ම කවියට නඟා ඇතැයි මට සිතේ. මෙම හිමියන්ගේ අමනකම කියා පාන කවි ගණනාව අතරින් පහත කවියේ විශේෂත්වය, එම අමන ක‍්‍රියා වක‍්‍රාකාරයෙන් පැවසීම යි. එය හරියටම වර්තමානයේ මස්-මාළු වලට ගිජු සමහර භික්ෂූන් වහන්සේලා "බුදු හාමුදුරුවෝ මස්-මාළු කන්න එපා කියලා නැහැ" යි බණ දේශනා වලදී කියන ආකාරයේ ම නිදසුනකි.

පන්සල කොනක එල්ලන ලද හිර      ගේක
මයිනෙක් සිටී පෙන්වා මූණක්          සෝක
පතුරා මෙලෙස කරුණාවේ          ආලෝක
මෙ හිමින් වහන්සේ කල් ගත කළ     සේක

ඒ වගේම ඔහුගේ "හරක් හොරා" නැමැති කවි පන්තිය ද සුවිශේෂී එකකි. හරක් සොරකම් කර උන් මරා මස් කන අමන චරිතයක් ගැන ඔහු මෙම කවි පන්තිය රචනා කොට ඇත. එය ඔහුගේ නරක පැත්ත ගැන පමණක් පවසන කවි පන්තියක් නොවේ. හරක් සොරාගේ බිරිද, තම ස්වාමියාට දක්වන ආදරය ද ඔහු අතිසංවේදී ලෙස පවසයි. එයින් ඇගේ සැමියාට ඇති ආදරය හා ඇගේ අසරණකම ද මනා ලෙස පිළිබිඹු කරයි. එමෙන් ම ලෝක ඒකායන සත්‍යය මෙවන්, අසත්පුරුෂයන් අගතියට යන ආකාරය ද, දිට්ඨධම්මවේදනීය කර්ම ප‍්‍රතිවිපාක ද කුමාරගම කවියා මිනිසුනට දැනෙන්නට කවිත්වයට නගා ඇත.

ඇගෙ ඇස තිබුණු පිරිසිදු කදුළු දුටු     දින
මට තේරුණා ඔහුගේ මහඟු ගති      ගුණ
යම් දවසක් තිබේ දිනු අය ද පර        දින
සිහිනෙන් වගේ දුටුවෙමි ඔහුගේ  අවසන

ඉස්සර අතීතයේ ජීවත් වූ සිංහල මිනිසුන්, අමන ම මිනිසුනව හැදුන්වීමට භාවිත කළ යෙදුමකි, "ඌ ගෙරිමසුත් කනවා" කියා කීම. අද උතුම් සිංහලයෝ දුර්ලභ යහ. වර්තමානයේ එම අහිංසක සතා අනුභව කරණ කොපමණ මිනිසුන් සිටී ද ? අපේ ජාතියේ පිරිහීම පැහැදිලි කිරීමට එය ද මහඟු සාක්ෂියකි. "මිනිස්සු කිසියම් හේතුවක් උදෙසා මිනිසුන් ඇසුරු කරති. හේතුවෙන් තොර ව මිත‍්‍රත්වය ඇති කොට ගන්නා ඝෘජු කළ්‍යාණ මිත‍්‍රයෝ දුර්ලභයහ" යන බුදුන් වහන්සේ විසින් කරන ලදැයි සැලකෙන ප‍්‍රකාශය ද මගේ සිහියට නැගේ.  හරක් හොරාගේ අවසන ගැන කවි පන්තියේ මැද කවිවලින් කුමාරගම කවියා මෙසේ ලියයි. ඒ දින දහයකට පසුව හරක් හොරාගේ මළකද හමු වූ ආකාරය යි. එතන හරක් හොරාගේ පොරොව යි, ගෙදර දොරේ යතුර යි තිබී හමුවී ඇත. කුමාරගම කවියා මෙම කවි පන්තිය අවසන් කිරීමට අපූරු කවියක් තොරාගෙන ඇත. ඒ හරක් හොරා ගේ දේහය හමුවූ ආකාරය ගැන විස්තර කරන කවිය යි.

තහවුරු කළා කෙවිටක් තුබු සැකය      හිත
ලේ බිදු කදුරු පැල, වැලි, තණ පඳුරු   මත
හිස් කබලක් ය එහි මස් කලඳකුද       නැත
ළඟ පලු ගහක මූනිස්සන් ලකුණු        ඇත

මෙසේ හරක් හොරා ගේ මළකුණට පවා සිදුවු දෙය කවියා අපූරුවට පවසයි. ඔහු අහිංසක සතුන් මරා කෑ එකෙහි ප‍්‍රතිවිපාකය, ඔහුගේ මළකද ද ඉත්තෑවෝ මුගටි නරිගේ දත්වල පහසට ගොදුරු වී ඇති බව ඔහු කවියෙන් පවස යි. ඔහුගේ මෙම වකවානුව තුළ රචනා කළ තවත් මනරම් කවි පන්තියකි "හේරත්හාමි" නැමැති කවි පන්තිය. එම කවි පන්තියෙන් කුමාරගම කවියා, වෘත්තිය වශයෙන් මිනී කපන, වැසිකිලි වල අපද්‍රව්‍ය අස් පස් කරන දුප්පතකු වන හේරත්හාමි ගැන සඳහන් කරයි. එම කවි පන්තිය කවියා ආරම්භ කරනුයේ මෙසේ ය.

අලියා වැටුණු වැව සිටි හේරත්    හාමි
මා වැනියකු වූවද මම වැදගත්      වීමි
මිනී කපන මුත් ඒ හේරත්          හාමි
ඔහු මට වඩා විසි තිස් ගුණයක්    දෑමි

විමලරත්න කුමාරගම කවියා එම දුප්පතා ගැන පවසන කාරණා කොපමණ සංවේදී ද ? ඔහු තමාට වඩා විසි තිස් ගුණයක් දැහැමි ලෙස ජීවත් වන්නේ යැයි පවසයි. මිනී කැපීම රැකියාව වශයෙන් කළත් ඔහුගේ සත්පුරුෂ ගති පැවතුමි කවියා අපූරුවට කවියට නගයි. ඒ සඳහා ඔහු ලියූ පහත කවිය ද ඔබට ඉදිරිපත් කළ හැකි ය. ඉන් ඔහු හේරත්හාමිගේ හොඳ ගුණ වර්ණනා කරන අතර ම හේරත්හාමි සියයට සියයක් ම සුදු චරිතයක් නොවන බව ද කවියා පවසයි. ඒ ඔහු හවසට ගිනි වතුර බොන බව ද පැවසීමෙනි. ඉන් ඔහුගේ අඳුරු පැත්ත ද පෙන්වා දෙයි.

අවනත සිනා රැළි වත නිතරම     පතුරයි
හැම වදනක්ම අවිහිංසකවම       මතුරයි
හැමදා වගේ හවසට බොන ගිනි  වතුරයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන්  උතුරයි

විමලරත්න කුමාරගම කවියා විසින් රචනා කළ කවි අතරින් මා ඉතාමත් ම පි‍්‍රය කරන්නේ “ කැටවල ” නමින් ලියන ලද කවි පන්තිය යි. කැටවල යනු නියං කලට වතුර සිඳුණ පසු වැව වෙත වතුර බීමට පැමිණෙන සතුන් දඩයම් කිරීම සඳහා වැව ආසන්නයේ කපන ලද වලකි. කුමාරගම ද පූලා, සයිමා හා කඩියා සමඟ දඬයමේ ගොස් සිටියි. විමලරත්න කුමාරගමයන් තමා සත්පුරුෂයෙක් යැයි කීමට උත්සාහ නොකරයි. ඔහු කරන හොද වගේ ම නරක කි‍්‍රයා ද කවියට නඟා ඇත. මෙය මා දකින ආකාරයට ඔහුගේ ඉතා උසස් ගුණයකි. ඔහු පවසන සිදුවීම මෙය යි. කුමාරගම හා පූලා ගස් දෙබලක මැස්සේ සිටිති. සයිමා හා කඩියා කැටවලට වී සිටිති. සෑභෙන වෙලාවක් ගතවුණ ද කිසිම සතකු වැව වෙත ආවේ නැත. ක්ෂණිකව ම කිසියම් සතකු වැව වෙත පැමිණෙයි. කවියා දකින මෙම සිදුවීම මෙසේ කවියට නගයි.

හදිසියේ දුටිමි කලුවක් වැවවෙත         ඇදෙන
වැළහින්නක්ය ඇය පසුපස දරු          දෙදෙන
යන්තම් ඇසුණි හඩ පැටවුන් දිය            අදින
කැටවල තුළින් එකෙණෙහි වෙඩි හඬ  නැගින

වම් ඇලයට වැටී ගති වැළ               හින්න
මම කෑ ගැසිමි කඩියට වෙඩි නොති  යන්න
දඟලන අතර ඈ තැති ගෙන නැඟි     ටින්න
දුක්මුසු ලෙසින් හැඬුවා පොඩි දරු   දෙන්න

පොඩි පැටවුන් ඇද ගෙන රැඳෙනු ඉඩ  නොදී
ආ කැලයටම ඒ මව පැනපි ඇදි             ඇදී
කකුලක් කැඩී ගිය මුත් ඇයගෙ වෙඩි     වැදී
දරුපෙම මරන්නට ඒ මවට එය ම          මදී

ඉතා සංවේදී අපගේ නෙතට කඳුළක් උනන මෙම පුවත විමලරත්න කුමාරගම කවියා අපූරුවට කවියට නගා ඇති ආකාරය කොතරම් මනරම් ද ? වර්තමානයේ ජීවත්වන සැබෑ දරු පෙම නො හඳුනන මව්වරුන්ට ද මෙම කවි පන්තිය ආදර්ශයකි. ඒම වැළහින්න එවන් මවුවරුන්ට හොද ආදර්ශමත් මවකි. මෙම සිදුවීම කුමාරගම කවියාව කොපමණ පෙළුවේ ද යන්න, ඔහු මෙම කවි පන්තිය අවසාන කිරීමට යොදාගෙන ඇති අපූරු කවි පන්තිය සාක්ෂි දරයි. ඔහුගේ සංවේදී භාවය අවධි වූ ආකාරය, ඔහු මිනිසත් කමින් එදින සිට තව තවත් පෝෂණය වූ ආකාරය එම අවසාන කවියෙන් ගම්‍ය වෙයි. එම කවිය මෙසේ ය.

ගොළුවන් කියන දේ වැටභෙන සවන් පෙතී
මා සතු වෙන්ට එ දවස සිට පටන්         ගතී
දරුවන් දකින විට දැන් මෑණියන්        නැතී
ඒ හැම දෙනම මගෙ ලඟ නෑසියන්     වෙතී

මෙම වැළහින්නගේ දරු දෙදෙනාගේ වේදනාව කොතෙක් දැයි මෙම සිදුවීම සියැසින් නොදුටුවත් අපහට ප‍්‍රත්‍යක්ෂ වෙයි. එය දුටු කවියාට එම සිදුවීම කෙසේ දැනෙන්නට ඇද්ද ? ඒ බව මෙම අවසාන කවියෙන් ඔහු අපට පවසයි. මෙම වකවානුවේ ම කුමාරගම අතින් ලියවුණු තවත් ඉතා ශෙ‍්‍ර්ෂ්ඨ කවි පන්තියක් ලෙස "අය්යනායක" නම් කවි පන්තිය ද සිහිකළ යුතු ය. එය කැලය භාර අය්යනායක දෙවියන් උදෙසා ලියැවී ඇත්තකි. එය ඔහුගේ හොඳ ම කවි පන්තියක් යයි අතීත විචාරකයන් පවසා ඇත. එම මුළු කවි පන්තියෙන් ම මා හද බැඳ ගත් එක් කවියක් ඔබට ඉදිරිපත් කරමි. කුමාරගම කවියා විද්‍යානුකූල ව ජීවිතය හැඬගස්වා ගෙන තිබුණත්, ඔහු අන් අයගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ දෙවියන්ට නින්දා නොකරයි. මෙම කවි පන්තිය කියවන විට, අපට රවීන්ද්‍රනාත් තාගෝර් ගුරු දේවේන්ද්‍රයන්ගේ දර්ශනය ද සිහිපත් වෙයි. එතුමා ද අනුන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ කිසිවක් භෙළා දැක්කේ නැත. එම අදහස කැටිවුණ කුමාරගම කවියාගේ එම කවි පන්තිය බලමු.

සංහිඳ ලඟ බාරයට කිරි ඉති                    රීම
කෙම්මුර දවස්වල පානින් සැර                සීම
වන අතු කඩා ගස් දෙබලක දැව              ටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැර හීම

කෙතරම් අපූරු කවියක් ද? මෙම කවිය මා අමන්දානන්දයට පත් කරයි. විමලරත්න කුමාරගම කවියා ලියු තවත් සංවේදී කවි පන්තියකි "සිරගෙය". එයින් කියැවෙනුයේ, ගල් වළකට වැටුණු ඇතින්නියක් සහ පැටවකු ගැන ය. මෙම පුවත සැලවීමත් සමඟ ම ගම්මු විත් මව සහ පැටවා බේරා ගැනීමට තැත් කළහ. ඒත් ඇතින්නිය කුලප්පු වී එයට ඉඬ නොදුන්නා ය. ඈ කෑ ගසා දුක කියනා හඬ ගවු ගණනක් ඈතට පවා ඇසිණ. එම පුවතෙහි ඉතිරි කොටස කවියා මෙසේ පවසයි.

නුග අතු ඇහැටු දළු ගෙන වනවිටදි    ළඟා
එළවා ගනී වියරුව පැන සොඬය       නඟා
හත් දවසක් ම මේ දුක්මුසු රැඟුම        රඟා
ඈ බැරි තැන වුණා ඒ වළ තුළ ම       දිඟා

හත් දවසක් ම දැඟළුව උගුලට            අසුව
ඇගෙ හොඬ නිහඬ විය ඉන්පසු දුක්     මුසුව
මව් කිරි ලැබුණු කරුණෙන් මෙතුවක්  විසුව
පැටියා රැගෙන ආවෙමි මව මළ          පසුව

මෙම කවි පන්තිය මෙන්ම අතිසංවේදී තවත් කවි පන්තියක් මෙම වකවානුවේ ම කුමාරගම අතින් ලියැවිණ. එය "යම්තම් බේරුණා" නමින් ඔහු නම්කර ඇත. එම කවි පන්තියෙන් කවියා පවසන ලද්දේ නෙතට කඳුළක් නඟන තවත් කතා පුවතකි. ඒ කවියා නැවතී සිටි ගෙය අවටින් ගමන් කළ මුව දෙනකට, වැදි කොලුවකු වෙඩි තබා මැරූ සිද්ධියකි. ඒ මුව දෙන මැරී වැටී සිටි අයුරු, ගඟේ නාමින් සිට වෙඩි හඬ ඇසී දිව ආ කවියා දුටුවේ  මෙසේ ය.

කටු කම්බියට ලස්සන හම ඇත             හීරී
මා මය දතුයෙ මගෙ හද ගිය හැටි           පෑරී
වැදි කොලුගෙන් ඇයට නොගියැකි විය බේරි
ඇගෙ මළ බුරුල්ලෙන් වෑභෙයි කිරි        පීරී

එම මුව දෙනගේ මස් රූ කෑම සඳහා උයා තිබුණි. එම මස් කවියා ද අනුභව කරයි. මෙය ද කවියා සත්පුරුෂයකු යැයි ප‍්‍රතිරූපයක් ඇද ගැනීම නොකළ තවත් අවස්ථාවකි. ඒත් කවියාට එම මස් අනුභව කෙට සිතේ සහනයෙන් සිටිමට නොහැකි වෙයි. මක්නිසාද යත් කවියාට මස් කෑ මොහොතේ සිට ම එම මුව දෙනගේ පැටවුන් සිහියට නැගෙයි. ඒ බව ද කවියා අපූරුවට කවියට නඟා ඇත.

මිරිසට උයා තුබු ඇගෙ මස එදින        රැයේ
මට කිරි රසට වැටහුණ බව මතක       තියේ
මුළු රූ මසිත මව නැති දරු වෙතය      ගියේ
මම නිදි ගතිමි පසු දින හිරු නැඟෙන  පැයේ

මහ රූ කුමාරගම කවියාට දිගට ම බලු කුකුරුවන්ගේ කන්නලව්ව මෙන් දිගට ම මුව පැටවුන් හඬන හඬ ඇසේ. ඒ හඬ ඇසෙන සැනින් කවියාගේ නෙතින් උණු කඳුළු පනියි. පසු දින උදයේ ඔහු තමාගේ ඇස් රතු වී ඇති බව දකියි. දැන් ඔහුට පැහැදිලියි මුව පැටවුන්ගේ කන්නලව්ව, එම හඬ්න් ඔහුගේ හදවත රිදෙයි. පසුව වැදි කොලුද කැටු ව පසු දින මුව පැටව් සෙවීමට කැලය පීරීමට කවියා යති. එක් පඳුරක් ළඟ පිඹුරකුගේ ගොදුර වී පැටව් සිටින බව කවියා මෙම කවි පන්තියේ මැද කවිවලින් පවසයි. එම එක් පැටවකු බේරූ ආකාරය කවියා අවසාන කවියකින් මෙසේ ලියයි.

එක පැටවෙකු එතී පිඹුරගෙ දරන       මැද
නිදහස් වෙන්ට දඟලද්දී වෙභෙස        විඳ
වැදිකොලු පිඹුරු ගෙල මිරිකන විටදි   ඇද
පැටවා දුවන්නට විය මළ පඳුරු           බිඳ

මෙම කවි පන්තිය කොතරම් අපූරු කවි පන්තියක් ද? එයින් ඔහු අපට සත්ත්ව හිංසාවට විරුද්ධ ව විශාල පණිවුඩයක් දෙනු ලබයි. එය ඔහු වින්ද ආකාරයෙන් අපට පවසනුයේ, එම ක‍්‍රියාව අප කළත් අපට ද එම වේදනාව ම උරුම වන බව යි. එය කිසියම් යහපත් පණිවුඩයක් කිවහැකි තවත් මනරම් ආකාරයකැයි මට සිතේ. මෙවන් උසස් කවි අද වර්තමාන සමාජය තුළ ප‍්‍රචලිත ව නොමැති වීම කොතරම් කණගාටුවට කාරණයක් ද ?

විමලරත්න කුමාරගම කවියා හදවතෙහි ඉපදෙන කිසිවෙකුට පැවසිය නොහැකි ආදරය අපූරුවට කවියට නැගීමට සමතෙකි. ඒ බව ඔහු ලියා ඇති කවි පන්ති කිහිපයකින් ම ගම්‍ය වී ඇතත්, "හුදෙකලාව" නැමැති කවි පන්තිය ද ඒ අතරින් ප‍්‍රධාන ය. සැබෑ ආදරය වචනවලට පෙරළීම ඉතාමත් ම අසීරු ය. එවැනි සිදුවීම් පැවසිය හැක්කේ බොහෝවිට වක‍්‍ර උපමාවලිනි. මෙම සිදුවීම ගැන කතා කරන විටදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයකු වූ කේ. එන්. ඕ. ධර්මදාසයන්ගේ "ඔබ සුමුදු නෙත් කැළුම්" නැමැති කවුසිළුමිණෙහි ද ආභාසය ඇතුව ලියැවුණු හා පණ්ඩිත් අමරදේවයන් විසින් ගයන ගීතය ද ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය. දැන් විමලරත්න කුමාරගම විසින් රචිත එම කවි පන්තියෙහි කවි දෙකක් ගැන අවධානය යොමු කරමු.

කිසි අදහසක් නොදිටිමි දෙන පහන          සිළු
සෙවනැලී වැටී ඇත ගෙය හැම තැනම   ගොළු
දොර හැර ගියෙමි රැහි පළඟැටි හඬය         රළු
මිදුලේ වියන ලදි සඳ රැස් පැදුරු               මළු

කඳුගැට පවා ගිලි මීදුම් සළු                  පාත
මට ඇති කළේ වෙන කිසිවක් නොව     සීත
ළය මුව මෙන් ම ගොළු වූවත් මගෙ      දෑත
ඔබ සිහි කළෙමි ළඟ ඇති ඈතේ          ඈත

මෙම අවසාන කවියේ ඔහු අපූරු උපමාවක් භාවිත කරයි. එය නම් “ඔබ සිහි කළෙමි ළඟ ඇති ඈතේ ඈත” යන පේළියෙහි කියැවෙන "ඈතේ ඈත" නමැති උපමාව යි. මෙය ඈතටත් වඩා බොහෝ සෙයින් ඈත යන්න කියැවේ. එය හදවතට දැනෙන ආකාරයට ඔහු පවසා ඇත. ඔබ එතරම් ඈතක සිටියත් “මම ඔබව සිහි කළෙමි” යන්න ඔහු මනරම් ආකාරයට පවසයි.

කොතරම් ආස්වාදජනක කවි ලියන්නට විමලරත්න කුමාරගම කවියා සමතෙක් දැයි මෙවැනි කවි කියවන විට මට සිතේ. එභෙත් අවාසනාවට පසුගිය කාලයේ අප රටින් සාහිත්‍ය විනාශ කිරීමට කරන ලද උත්සාහයේ ප‍්‍රතිඑලයක් වශයෙන් අප තරුණ පරපුරෙන් කවිය ඈත් වී ඇත. මෙසේ තවත් නොබෝ කලක් ගිය කල හදවත් නැති මෙම ළමුන්ගේ ක‍්‍රියාකාරකම් අපට ප‍්‍රත්‍යක්ෂ කර ගත හැකි ය. අද පවතින උන්මත්තක එෆ්. එම්. ජාලයන් විසින් අන්තර්ජාතික අනාථයන් බිහිකර ඇති ආකාරය අද වර්ථමාන සමාජය දෙස බැලූ විට අපට අවබෝධ කර ගැනුමට අසීරු නැත. මෙම විකෘති සමාජ ක‍්‍රමය බිහිකිරීමට දායක වූ ඇත්තන් කළ වරද පරම්පරා ගණනකට භෙණ ගහන ආකාරයේ වරදකි. දැන්වත් වගකිව යුත්තන්ගේ ඇස් ඇරී මෙම විකෘති සමාජක‍්‍රමය වෙනස් කිරීමට තමන්ට කළ හැකි දෑ කිරීමට පෙළඹෙත්වා ! මෙම ලිපිය වර්තමාන තරුණ පරපුරට විමලරත්න කුමාරගම කවියා යනු කවුදැයි කෙටියෙන් හෝ පැවසීමට පිටුවහලක් වනු ඇතැයි මම සිතමි. මෙම කවියා අප අතරින් වියෝ වූ පසු එම අඩුපාඩුව මැකීමට වෙනත් කවියන් දහ දෙනෙකුටවත් නොහැකි ය යනු මගේ අදහස යි. මෙම මානව හිතවාදී සරල ලෙස ජීවත් වූ යහපත් මනුෂ්‍යයා 1962 වසරේ දෙසැම්බර මස 24 වන දින රෝගාතුර ව රෝහලට ඇතුළත් කරන ලදී. ඉන් අනතුරුව දෙසැම්බර මස 30 වන දින මහනුවර රෝහලේ දී මෙම අසමසම කවියා අප අතරින් "ශාරීරික ව පමණක්" සමුගන්නා ලදී. අදට වසර පනහකටත් වඩා ගතවී තිබුණද කුමාරගමගේ නාමය ජනකාමී යහපත් මිනිසුන්ගේ හදවත් තුළ ඉතිරි ව ඇත. එය සදාකාලික ය. ඔහු අවසාන වරට, එනම් 1962 දෙසැම්බර මස 17 දින ඔහුගේ දිනපොතේ මෙසේ සටහන් කර තිබුණි.

“ පාලිත සමග අද
ආවෙමි උදය වරුවේ
වැඩි වැඩක් අද නැත
රූට නෑවෙමි වතුර උණුකර... ”

මෙම ශ්‍රේෂ්ඨ යුග පුරුෂයා ගැන ලිවිය හැකි තවත් බොහෝ දෑ ඇතත්, මෙම ලිපිය අවසාන කළ යුතු බැවින්, ඒ සඳහා විමලරත්න කුමාරගම විසින් 1959 දී ලියන ලද "වෙසක්" නැමැති කවි පන්තියේ අවසාන කවිය මෙසේ ඔබට ඉදිරිපත් කරමි. එය වර්තමාන සමාජයට ද හොද ආදර්ශමත් පණිවුඩයක් ගෙන දෙයි.

“ ගස් වැල් පවා බුදු මගුලට සැරසී                ම
දැක දැක ලොවේ ඇතිවෙනු ඇයි වැන සී      ම
බුදුවෙනු බැරිද ලොව කෙනෙකුට නොනැසී  ම
ඔබ හැමටම පතමි රස සුව සැන සී              ම ”

(විමලරත්න කුමාරගම කවියාගේ සේවය ඇගයීම වස් නිකුත්කර තුබුණු මුද්දරය)

ලංකාදීප 2008 දෙසැම්බර් 30 සහ ශ්‍රද්ධාඤ්ජලි ශාස්ත්‍රීය සංග්‍රහය (2009 මැයි), 100-113 පළවුණු ලිපියකි !

ආචාර්ය ප‍්‍රසන්න මධුරංග ප‍්‍රනාන්දු
භෞතික විද්‍යා කථිකාචාර්ය,
භෞතික විද්‍යා අධ්‍යයනාංශය,
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.